Sunday, July 21, 2019

වංශ කතා තුළින් හෙළිවන දළදා පෙරහැර





දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ කිස්තු වර්ෂ   4 වන   සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය වක්වානුවේදීය. ඒ කලිඟු රට හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසිනි. ඓතිහාසික සිද්ධිය දාඨාවංශය විස්තර වෙයි. අනුරාධපුරයට වැඩම කිරීමෙන් අනතුරුව දක්ඛිණ මේඝගිරි විහාරය (වර්තමාන ඉසුරුමුණිය විහාරය) ගෙන ආහ. දළදා වහන්සේ වෙනුවෙන් රජතුමා විසින් රජයට නුදුරින් මාළිගයක් කරවූයේය.  දළදාව එහි වැඩ හිඳ වූ ආකාරය දාඨාවංශයේ විස්තර වෙයි. එතැන් පටන් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා වාර්ෂිකව දළදා පෙරහැර පැවැත් වූ අයුරු ඉදිරි පාලකයන්ට ද එම පෙරහැර පවත්වන ලෙස දැන්වූ අයුරු කිස්තු වර්ෂ    410- 412 කාලයේ දී අනුරාධපුර අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් භික්ෂුව විසින් රචිත සිය ගමන් විස්තරයේ සඳහන් ය. ලංකාවේ පැවැත්වූ දළදා පෙරහැර සම්බන්ධව තැබූ මුල්ම  එතිහාසික විස්තරය එයයි.

කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජතුමා ආරම්භ කළ අනුරාධපුර දළදා පෙර  පෙරහර පාහියන් හිමියන් විසින් විස්තර කරන්නේ මෙසේය. "තුන් වැනි මාසයේ ඇසළ මාසයේ මැද හරියේ ළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කරනු ලැබේ. රජතුමා ඊට දින දහයකට පෙර කීමෙහි බිණීමෙහි සමත් මිනිසෙකු රජ කෙනෙකු මෙන් ඇඳ පළඳවා මනාවට සැරසූ ඇතෙකු පිට නංවා  නුවර වීදි සංචාරය කරවයි. අණ බෙර ගසා මෙසේ කිරීමට සලස්වයි. බෝසතාණන් වහන්සේ තුන් අසංඛ්‍ය කල්පයක් මුළුල්ලේ මහත් වෙර දරා පෙරුම් පිරූ සේක. උන් වහන්සේ සිය සැප පහසු නොතකා සිය රජය ද සිය බිසව ද දරුවන් ද දන් දුන් සේක. තමන්ගේ ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. සියලු සතුන් උදෙසා මේ සා මහත් දුක් විඳ අවසානයේ ලොව්තුරා බුදුවූ සේක. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අවුරුදු  1497 ගතවිය. ලොව  ඇස් පිය වී ඇති මේ මුළු කාලයේ ලෝ වැසියෝ නිතරම සොවින් පෙළෙති. අද සිට දස දිනකින් ඒ බුදුරජාණන් වහන්සේගේ දළදාව එළියට වැඩමවා අභයගිරි විහාරයට පමුණුවනු ලැබේ. පින් කැමති ගිහි-පැවිදි සියල්ල මෙහි පැමිණ මහ මග සම කෙරෙත්වා. මහා විදී සරසත්වා. පූජාව පිණිස මල් හා සුවඳ පිළියෙල කරත්වා යනුවෙනි.

පාහියන් හිමි එහි වර්ෂ දක්වා ඇත්තේ ලක්දිව ක්‍රමයට නොව චීනයේ සැලකූ බුද්ධ වර්ෂ ක්‍රමයට ය. අනුරාධපුර පළමු දළදා  පෙරහැර ආරම්භ වූ දළදා මාලිගයේ නටඹුන් දැනට පැරණි ඇතුළු නුවරින් සොයාගෙන ඇත. එතැනම තිබුණු පුවරු ශිලාලිපියක දළදා ගේ යන්න සඳහන් වීමෙන් එය අනාවරණය කරගත හැකි වී තිබේ.
 බොදුනු බැතිමත්හු දළළදා වහන්සේ ද ජීවමාන බුදුන් සේ සැලකූහ. දළදා  පෙරහැර  ජීවමාන බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක් සේ සංවිධානය කරනු ලැබීය. දළදා වහන්සේගේ විශේෂත්වය පිළිබඳ වූ ජන විඥානයේ ස්වරූපය සැළලිහිණි සන්දේශයේ සඳහන් ය. "දළදා වහන්සේ බුදුන් වහන්සේ වදාළ සුවාසුදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ කිරීමෙන් පාරිශුද්ධත්වයට පත් වී තිබේ. ඒ නිසා දළදා වහන්සේට පුද පූජා පෙරහර පැවැත්වීමෙන් නිවන් පසක් කරග ගත හැකිය.ˮ (සැළලිහිණි සංදේශය දාසය වන කවිය)

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සිට දළදාව රාජ්‍යත්වය සමඟ සුවිශේෂී බැඳීමක් ඇතිවිය. පොලොන්නරු යුගයේදී දළදා භාරකාරත්වය අහිමි වූවෙකු රාජවංශයෙන් පිළිගත්තේ නැත. ඒ  සම්ප්‍රදාය ඉන්පසු වකවානුවේ නො බිඳී පැවතිනි. උඩරට යටත්කර ගැනීමෙන් පසු  ඉංග්‍රීසි රාජ්‍යයට ඇති සිය අයිතිය තහවුරු කර ගැනීමට දළදාව හිමිකර ගත්හ.

පොළොන්නරු යුගයේ දී දළදාව  පොළොන්නරුවට ගෙන ගොස් පොළොන්නරු වටදාගෙය  ඉදිරිපිට දළදා මාලිගය ඉදිකරවා එහි  තැන්පත් කිරීමෙන් පසුව දළදා පෙරහැර පවත්වා ඇත. පරාක්‍රමබාහු රජුගේ දළදා පෙරහැර විස්තර කරන මහාවංශය "රජ මැදුරේ සිට දළදා මැදුර දක්වා මාර්ගය විසිතුරු තොරන් ආදියෙන් සරසා කොඩිද මල් වැල් ද මහමග කෙසෙල් පුවක් ගස් වලින් සරසන ලද්දේ ය. මාර්ගය මේ නිසා සක්දෙවිඳුගේ සුදර්ශන වීදීය හා සමාන වීයැයි දළදා මැදුර වෛශ්‍රවණ ගේ පුරය හා සමාන වී යැයි ද සඳහන්ය.
මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහු  රජතුමා එසේ දළදා පෙරහැර  පවත්වන අවස්ථාවේ වැසි වැස වැව් පිරී ඉතිරී ගිය බව සඳහන්ය.  වැසි නැති කාලයට දළදාවහන්සේ එළියට ගෙන පූජා  පැවැත්වීම ගැන කුරුණෑගල සමයේ රචනා වූ දළදා සිරිත ද සඳහන් වේ. එහි සත්‍යතාව දැක්වීමට මෙන් නුවර යුගයේ ඉංග්‍රීසි විසින් පළමු වරට දළදා  පෙරහර  පැවැත්වූ අවස්ථාවේ මහ වැසි වැස මහනුවර වැව පවා ඉතිරී ගිය බව දක්වයි.

1215 මාඝ දී මාඝ විසින් රජරට අත්පත් කරගැනීම නිසා දළදා භාරව සිටි භික්ෂූන් වහන්සේත් දළදාව කොත්මලයට ගෙන ගොස් සඟවා තැබූ හ. පසුව දඹදෙණිය  තුන් වැනි විජයබාහු රජු එය ගෙන අහසින් බිමින් සතුරෙකුට ළඟා විය නොහැකි පරිදි බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කළේය. ඒ වග මහාවංශයේ දක්වා තිබේ. එහෙත් දළදා වහන්සේ කොත්මලේ වැඩ සිටි කාලයෙහි බෙලිගල වැඩසිටි කාලයේ දළදා පෙරහැරක් පැවැත්වූ බවට තොරතුරක් නැත. එහෙත් 1236 රාජ්‍යයට පත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ බෙලිගලින් දඹදෙණියට ගෙන වූත් ශ්‍රී විජයසුන්දරාරාමයේ තැන්පත්කොට ශ්‍රී වර්ධන පුරයේ සිට පෙරහැර කර වූ බව වැඩිදුරටත් සඳහන්ය.

ඉන්පසු රාජධානිය බවට පත් වූයේ යාපහුව වූ අතර යාපහුවේ නටබුන් අතර දළදා මාලිගයක නටබුන් සොයාගෙන ඇති හෙයින්  ඒහි ද පෙරහැර පැවැත්වෙන්නට ඇත. යාපහුවෙන් පසු කුරුණෑගල රාජ්‍ය මධ්‍යස්ථානය බවට පත්වී එහි ද දළදා මාළිගය තිබූ බවට එකල රචනා වූ දළදා සිරිතෙ සඳහන් වුවත් නාගරීකරණයත් සමග එම ස්ථාන විනාශ වී තිබේ.

පාහියන් හිමිගේ විස්තරයෙන් පසු දළදා පෙරහැර ගැන විස්තර දැක්වෙන්නේ කුරුණෑගල 4 වන පරාක්‍රමබාහු රජ සමයේ රචිත දළදා සිරිතේය. එය එම පෙරහරේ ඇතෙකු විසින් ඇදගෙන යන දළදා වඩමවන රථය සමග භික්ෂූන් වහන්සේ ද පිරිත් සජ්ඣායනා කරමින් වැඩමකර තිබේ. එසේම සිවුරඟ  සෙනඟ පිරිවරා ගෙන ආරක්ෂා සහිතව පෙරහැර කෙරී ඇත. අනුරාධපුර පොළොන්නරු යුගවල දී රජතුමා පෙරහැරේ ගමන් කළ ද කුරුණෑගල සමයේ එසේ වූ බවට සාධක නැත.

කුරුණෑගල සමයෙන් පසුව දළදාව පාලන  මධ්‍යස්ථානය තිබූ බවට සාධකය වන්නේ විශේෂයෙන් සන්දේශ කාව්‍යයයි.  මහා  වංශයේ සඳහන් වන කෝට්ටේ දළදා මැදුර හංස සංදේශයේද පරවි සන්දේශයේ ද  වර්ණිතය. ගිරා සන්දේශ කතුවරයාගේ නෙත ඇදීගියේ එහි නිරන්තර පැවැත්වෙන පංචතූර්ය නාද පූජාවට ය. එහෙත් ඒ කිසි මුලාශ්‍රයක කෝට්ටේ දී පැවති දළදා පෙරහැරක් ගැන සදහන් නොවේ.

මෑත කාලයෙ සෙංකඩගල නුවර පැවැත්වෙන දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී ය.ඊට පෙර  මහනුවර ඇසළ ට පැවැත් වී ඇත්තේ දේවාල පෙරහර පමණි. ඒ බව දෙවැනි රාජසිංහ රජු සමයේ උඩරට සිරකරුවෙකු වශයෙන් සිටි රොබට් නොක්ස් කර ඇති විස්තරය සඳහන් විය. එහි දැක්වෙන්නේ ප්‍රභූ පවුල්වල කාන්තාවන් සම්බන්ධ වන පෙරහැර විවිධ නැටුම්  වලින් සමන්විත වූ බව ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේ දළදා පෙරහැර ද පැවති දේවාල පෙරහරට සම්බන්ධ කිරීමෙන් අද පැවැත්වෙන දළදා පෙරහැර ආරම්භ වී ඇත.

ඒ පිළිබඳ  ප්‍රථම වරට පූර්ණ විස්තරයක් කරන්නේ  1834 වෙල්ලස්ස දිසාව හා පසුව ජෝන් ඩෙව් විසිනි.  එසේ ආරම්භ වූ පෙරහැර අද කප් සිටුවීමෙන් ඇරැඹී කුඹල් පෙරහැර ද පසුව රන්දෝලි පෙරහැර ද පවත්වා අවසාන දිනයේ දහවල් පෙරහරින් කරඬුව දළදා මාළිගාවට වැඩම කිරීමෙන් අවසන් වේ.
                                                                                                 ලක්බිම පුවත්පත ඇසුරෙන්

No comments:

Post a Comment