Wednesday, April 3, 2019

ජනප්‍රිය සංස්කෘතිය


ජනප්‍රිය සංස්කෘතිය යන වචන දෙක නුතනයේ බහුල ලෙස භාවිතා වනු දැකිය හැකිය. ලතින් භාෂාවේ culture populas හා colere, kulture  යන වචන ඇසුරින් popular culture යන්න ගොඩ ගොඩනැගී ඇත. සිංහල භාෂාවට පරිවර්තනය කළ  විට ජනප්‍රිය,  ජන සම්මත සංස්කෘතිය වශයෙන්  අර්ථ ගන්වා තිබේ.  popular යනු වචනයෙන් ජනසම්මත, ජනප්‍රිය යන්න අදහස් කෙරෙන අතර culture යන්නෙන් සංස්කෘතිය යන්න අර්ථවත් වේ. ජනයා අතර ජනයා සමඟ වැඩෙන අරුත් ද මෙයින් අර්ථවත් වේ.   

popular culture ඉංග්‍රීසි භාෂාවේ වචන ද්වයට ජනප්‍රිය මෝහන,  සංස්කෘතිය වශයෙන් ද අර්ථ දක්වා තිබේ. popular යන්න කෙටි කරවා සාදාගත් pop යන කෙටි යෙදුම භාවිතයට ගනිමින් යෙදෙන පොප් මියුසික් යන්නෙන් අදහස් කරන්නේ ජනප්‍රිය සංගීත්ය යන අර්ථයයි.

සමාජ විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාවේ pop cultrure යන්නට සිංහලෙන් අර්ථ දෙන්නේ ජනප්‍රිය සංස්කෘතිය ලෙසයි. ජනප්‍රිය සංස්කෘතිය විෂය ගැඹුරු අධ්‍යයනයට පත් කළ යුත්තකි. මානව ශිෂ්ටාචාරයේ  ආරම්භයේ සිටම එක් එක් යුගවල තිබූ සංස්කෘතියට සමගාමීව ගමන් කරයි. පවතින සංස්කෘතිය වෙනස් වෙමින් නව සංකල්ප අදහස් එකතු වෙයි. මෙය  සංස්කෘතිය විසරණයේ ප්‍රතිඵලයකි. ජනප්‍රිය සංස්කෘතිය සංස්කෘතියේම අංගයක් බව පෙනී යයි.

ජනප්‍රිය සංස්කෘතිය බිහි වන්නේ සංස්කෘතික විවරණයේ දී සිදුවන්නේ විකල්ප සංස්කෘතිකාංග වල එකතුවෙනි. කෙසේ වුව ද ජනප්‍රිය සංස්කෘතිය සංස්කෘතියෙන් වෙන් කොට හදුනා ගැනීමට ඇතැම් විද්වතුන් උත්සාහ ගන්නා අතර සමහරෙක් සංස්කෘතියට සම කිරීමට උත්සාහ ගනිති. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත් කරන දේශීය විදේශීය විචාරකයෝ ද ජනප්‍රිය සංස්කෘතිය විරෝධාකල්ප සංස්කෘතිය, ඕලාරික සංස්කෘතිය ආදී වශයෙන් අර්ථ දක්වන්නට පෙළඹී සිටිති. මෙම සංකල්ප පිළිබඳව ඉදිරිපත් කොට ඇති අදහස් සංකල්ප අධ්‍යයනය මෙහි දී වැදගත් ය.

 තෝමස් ආර් ගිබ්ලින් නමැති සමාජ  පරීක්ෂකයා ජනප්‍රිය සංස්කෘතිය සමාජය තුළ ජීවත්වන සියලුම දෙනාගේම  සංස්කෘතිය බව දක්වයි. ජනප්‍රිය අංගයන් මිනිසා මිලදී ගන්නා භෞතික අභෞතික භාණ්ඩ හා සේවා හා ඇදහිලි විශ්වාස ඔස්සේද ව්‍යාප්ත වෙයි.

ඓතිහාසික පර්යේෂණ මගින් කරුණු දක්වන ගිබ්ලින් ජනප්‍රිය සංස්කෘතිය විෂය සීමාව යටතට ගත හැකි අංග රාශියක් හඳුන්වා දෙයි. ජනප්‍රිය සංස්කෘතිය යටතේ ජනප්‍රිය සංගීතය, බාල කඩදාසියේ මුද්‍රිත කලාව, ටෙලිනාට්‍ය වීඩියෝ පට  නව පන්නයේ කලිසම් වල සිට ඉවත දමන්නා වූ රේසරය දක්වා නිෂ්පාදනයන් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

බටහිර සමාජයේ ජනප්‍රිය ලක්ෂණ අන්තර්ගත සංස්කෘතිකාංග  වූ කොකාකෝලා, රොක් ප්‍රසංග, රූපරාජිණි තරගවල  හා වෙනත් ජනප්‍රිය සංස්කෘතික අධ්‍යයන අනුසාරයෙන් ඔහු මේ අදහස් සැල කොට තිබේ. සමාජ  සංස්කෘතිය තුළ අවිචාරයෙන් පිළිගැනෙන මිථ්‍යාවන් හා ජනප්‍රවාද  ජනප්‍රිය සංස්කෘතියට පදනම් වෙන බව ගිබ්ලින්ගේ මතයයි. 

ප්‍රාග් මාක්ස්වාදී දාර්ශනිකයෙකු වූ සෙන්ට් සිමොන් ජනපිය සංස්කෘතිය යනු කිසියම් සමාජයක මූලිකම අංගයක් බව පවසයි. සමාජයක මුල්බැසගත් උරුමයන් දේශපාලනික වෙනස්කම් බලපෑමක් නොවන අතර ජනප්‍රිය සංස්කෘතියේ අන්තර්ගතය තුළ දක්නට ලැබෙන වෙනස්කම්  දේශපාලන පද්ධතිවල දැකිය හැකි වේ. මෙහි මිනුම වන්නේ සමාජ සංස්ථාව තුළ ඇති උචිත වන්නේය යන ස්වභාවයකයි. සමස්තයට උචිත සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය බව ඉහත අදහසින් ගම්‍ය වේ.

ජනප්‍රිය සංස්කෘතිය යනු විනෝදාස්වාදය, සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය යනාදිය බව තවත් පිළලිගැනීමකි. වාණිජවාදී අරමුණු මූලික කරගත් මාධ්‍ය ජාලයන් විසින් වීරකම්, ත්‍රාසජනක සිද්ධි, අද්භූත හා මිථ්‍යා කතා ඇතුලත් වැඩසටහන් ජනප්‍රිය අංග ලෙස ඉදිරිපත් කරයි. පුද්ගලයාගේ මනසට ප්‍රමෝදත්මක විඥානයක් ලබාදෙන සංස්කෘතිකාංග ජනප්‍රිය සංස්කෘතිකාංග වන අතර ප්‍රමෝදාත්මක නොවෙන අංගයන් වෙනස් සංස්කෘතියකට අයත් වේ.

ජනප්‍රිය සංස්කෘතික පර්යේෂණ කෙරෙන්නේ විද්‍යුත් මාධ්‍යන්ට විශේශිතවය. එහෙත් සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි ද ජනප්‍රිය සංස්කෘතිය බලපා තිබේ. මානව විද්‍යාත්මක  සොයා බලන කල ජනප්‍රිය සංස්කෘතිය මානව ඉතිහාසය තරමටම පැරණි බව පෙනී යයි. ඉපැරණි සමාජ වැල සැරසිලි මෝස්තර නිර්මාණ  දැකිය හැකි ස්ථාන හමු වේ. පුරා විද්‍යාත්මක ස්ථානවල බිත්තිවල අඳින ලද සිතුවම් මෝස්තර මීට නිදසුන් සපයයි.

ජනමාධ්‍ය මගින් සපයන්නාවූ ජනප්‍රිය සංස්කෘතික වැඩසටහන් ප්‍රේක්ෂකගේ ස්වීයත්වය නැතිකොට ඔහු කල්පිත ලෝකයකට ප්‍රවේශ කරන  බලවේගයකි. ජනප්‍රිය සංස්කෘතිය සමාජයේ ප්‍රශ්නවලින් පලා යන්නා වූත් බුද්ධියෙන් තොරව ක්‍රියාකරන්නාවුත්  ප්‍රවණතාවක් ලෙස ද ඇතැම් න්‍යායවාදීහු සැලකූහ. ඔවුන් එසේ පැවසුවේ චිත්‍රපටිය රූප රූපවාහිනිය සහ ගුවන්විදුලිය  මගින් විකාශය කෙරෙන සරල  නාට්‍ය, සරල විනෝදාස්වාද වැඩසටහන් ඇසුරෙන් කෙරුණු අධ්‍යනයන් මගිනි.

මාධ්‍ය පර්යේෂණ අනුව විමසා බැලීමේදී ජනප්‍රිය සංස්කෘතිය කෙබඳු වුවක්ද යන්න හඳුනාගත හැකිය. ජනප්‍රිය සංස්කෘතිය මැවීමේදී ජනමාධ්‍ය සෘජු බලපෑමක් සිදුවේ. අප සමාජයේ වඩාත්ම නිර්මාණශීලී අංග බිහිවී ඇති අතර ඒවා සම්තයන්ට විකල්ප ලෙස ගොඩනැඟී ඇත. නිර්මාණශීලී සන්නිවේදන මාර්ග බිහිවීම නිසා ඊට හසුවන ග්‍රාහක පිරිසක් ද දැකිය හැකිය. මෙම ග්‍රහක පිරිසගේ සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය වන බව දේශීය විද්වතුන් ගේ අදහසයි.

විනෝදාස්වාද සංකල්පයට බෙහෙවින් ගැඹුරු අල්ප වශයෙන් බුද්ධි අවනත නිර්මාණාත්මක බවින් යුක්ත වූ ආකෘතික ලක්ෂණ ඇති නැති සමුදායක්  වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය යන්න ජන සන්නිවේදන අවබෝධය නමැති කෘතියේ සඳහන් වේ.

ජනප්‍රිය සංස්කෘතිය මෙය යැයි  නිශ්චිතව පැවසිය නොහැකිය. එය සංස්කෘතියේම ප්‍රභේදයක් බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. සම්මත කලාව, සාහිත්‍යය, සංගීතය, ප්‍රමුඛ විනෝදාස්වාදය සංස්කෘතික අංගයන්ද පොදුවේ ජනයාගේ හැසිරීම් ඇතුලත් සංස්කෘතික අංගයන් ද නූතන ජනමාධ්‍ය මගින් ප්‍රචලිත වීම හේතුකොටගෙන බිහිවන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියයි.

කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ජනමාධ්‍ය ව්‍යාප්තියත් සමඟ 19  සියවස අග භාගයේ දී ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබවය වී යැයි මතයක් පවතී. ජනප්‍රිය සංස්කෘතිය බිහි වීම පිළිබඳ විවිධ මතවාද, පිළිගැනීම, බොහෝමයක් ඇති අතර ඉහත සඳහන් මතය එකී පිළගැනීමකි. යුරෝපීය සමාජයේ නාගරික ජන සමාජවලට කාර්මිකරණ ක්‍රියාවලියේ බලපෑම නිසා ඇතිවූ ප්‍රවණතාවන්ගෙන් ජනප්‍රිය සංස්කෘතිය බිහි වූ බවත් ඊට ජනමාධ්‍ය පණිවිඩය ඉවහල් වූ බවත් පැවසේ.

 වීසිවන සියවසේ මැද භාගයේ දී ජනප්‍රිය සංස්කෘතිය භාවිතයට ගත්තද එය ඈත ඉතිහාසයක් ඇති බව පෙනේ. පූර්ව කාර්්මික යුගවල විවිධ නිර්මාණයන් බිහි වී තිබෙන්නේ ජනප්‍රිය සංස්කෘතික උරුමයන්ගෙනි.  14 16 වැනි සියවස්වල ග්‍රීක ශිෂ්ටාචාරය හා බැදුණු   කලංගයන් අධ්‍යනයෙන්  එය  පැහැදිලි කර ගත හැකි ය. ග්‍රීක නාට්‍ය කලාවන්ගේ ප්‍රභවය අධ්‍යයනය කිරීම ජනප්‍රිය සංස්කෘතියේ උපත පිළිබඳ යම් ඉඟියක් සපයයි. ඒ අනුව බලන කල 13  14  ශතවර්ෂ  දක්වා ඈතට දිව යන සංකල්පයක් බව පැහැදිලි වේ. තෙස්පිස් විසින් අරඹන එක් නළු නාට්‍ය මීට නිදසුනක් සපයයි.

ප්‍රස්තුත මාතෘකාව විග්‍රහ කොට බැලිය හැක්කේ එහි ස්වභාවය අධ්‍යයනය කිරීමෙනි. 1950 1960 දශකවලදී ජනමාධ්‍ය ව්‍යාප්තිය නිසා පුද්ගලයාගේ පමණක්  සංස්කෘතික හා මනෝභාවයන් වෙනස් විය. එකී සමාජ  පරිණාමය  පිළිබඳ පර්යේෂණ කළ  සමාජ මානව විද්‍යාඥයන් විසින් ජනප්‍රිය සංස්කෘතිය යෙදුම භාවිතයට ගෙන තිබේ. (discrimination and popular culture-denish tomsan) මෙම කෘතියේදී ජනප්‍රිය සංස්කෘතිය හඳුනා ගැනීමට උත්සාහ ගෙන තිබෙන්නේ නව ජනමාධ්‍ය හා බැඳුණු සන්නිවේදනාත්මක අංගයන් පදනම් කරගෙන ය. ජනප්‍රිය සංස්කෘතිය අධ්‍යයනය කෙරෙන මුල් ම කෘතියක් ලෙස ද මෙය හැඳින්වේ. නුතන තාක්ෂණික භාවිතයන් හා කලාවන් ඔහුගේ අවධානයට ලක් ව තිබේ.

ඔහු  දක්වන ජනප්‍රිය සංස්කෘතිකාංග විද්‍යුත් මාධ්‍යයට අමතරව වෙනත් නූතන හා සාම්ප්‍රදායික කලාංගවලට අයත් වන එමෙන්ම ඓතිහාසික විකාශකයක් ඇති  සංස්කෘතික අංග ත්‍රිත්වයක් දැකිය හැකිය. එනම්
1. එක මෝස්තර හා සැරසිලි
2. විනෝදාස්වාද මාර්ග
3. විකට චිත්‍ර කතා

උක්ත කරුණු සලකා බලන කල ජනප්‍රිය සංස්කෘතිය මානව වංශ කතාවේ ආරම්භක යුගයන් කරා නොයන්නේ ද ප්‍රාථමික මිනිස් සමාජ වල භාවිතා කල කලාවන් හා විඥානයක් ලැබූ සාහිත්‍යාංගවලට කලාවන්ගේ  ජනප්‍රිය අංග සොයා යාම තොම්සන්ගේ ඉහත නියමයන් අනුමත කළ හැකි බව හැඟී යයි.
 තොම්සන් ගිබ්ලින්  විග්‍රහ කරන ආකාරයට ජනප්‍රිය සංස්කෘතියේ  ස්වභාවය අනුව ඒ මිනිසාගේ ඉපැරණි ඇදහිලි, විශ්වාස අභිචාර විධි මත ද පදනම් වේ. මෙම  පදනම ප්‍රාග් මානව සමාජය දක්වා ද විකාශය වෙන නිසා ජනප්‍රිය සංස්කෘතික ප්‍රභවයද එකී කාලය දක්වා විහිදේ. එය හඳුනාගත යුත්තේ අධි මානව විශ්වාස අදද්භූත නිර්මාණඅංග අධ්‍යයනයෙනි.

දේශීය ජනප්‍රිය සංස්කෘතිකාංග අධ්‍යයනය ද ඉතා දිගු ඉතිහාසයයක් දක්වා විහිදේ.  දේශීය ජන විඥානය තුළ ද ගිබ්ලින්ගේ අදහස් අනුව විමසා බලන විට  අඅද්භූත අධිමානව බලවේග පිළිබඳව තොරතුරු සොයා ගැනීම අසීරු නොවේ. සිංහල වංශයේ ආරම්භය පිළිබඳව සඳහන් පුරාවෘත්තයන්ද ජනප්‍රිය සංස්කෘතිය ස්වභාවයේ සැලකිය හැකි නිර්මාණයකි.

දශක ගණනක්ට ආසන්න කාලයක සිට යුරෝපයේ සාකච්ඡාවට ගැනුණු ජන  සංස්කෘතික  පර්යේෂණ දේශීය වශයෙන් කෙරෙන්නේ දශක තුනක පමණ සිටය. සම්භාව්‍ය නොඑසේනම් උසස් කලාව හා ජනප්‍රිය කලාව පදනම් කරගෙන මෙම සාකච්ඡාවන් ඇරඹුණි.

උසස් ජනප්‍රිය කලාවන් පිළිබඳ ඇරඹෙන වාද විවාද ජන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය සංකල්පය දේශීය වශයෙන් සාකච්ඡා වීමට ලෝක ප්‍රවණතාවන් මෙන්ම දේශීය වශයෙන් සිදු වූ සමාජ ආර්ථික විපර්යාසයන් ද බලපෑවේය. මේ විපර්යාසයන් අතර
  • 1    සන්නිවේදන තාක්ෂණය දියුණු වීම
  • 2      නිදහස් වෙළෙඳපොළ බලවේග
  • 3   පැරණි කලාවට හා සාහිත්‍යාංග වලට වෙළදපල වටිනාකමක් හා ඉල්ලුමක් ඇති වීම


වැනි සාධක ප්‍රමුඛ වේ. විශේෂයෙන් සාහිත්‍ය කලා නිර්මාණ කෙරෙහි තාරුණ්‍යයේ සහභාගිත්වය වැඩි වශයෙන් දැකිය හැක්කේ 1980 දශකයේ මැද භාගයේ දීය. විවිධාකාර පුවත්පත් ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍ය අංගයන්ගෙ බිහිවීම හා විද්‍යුත් මාධ්‍ය ලෙස ගුවන් විදුලිය, රූපවාහිනිය හා සිනමාව තාක්ෂණික හා නිර්මාණාත්මක අංශයන්ගේ වර්ධනය සමාජ සංස්කෘතික අංග කලාව හා මිශ්‍ර වීම කෙරෙහි බලපෑවේය.

ජනප්‍රිය සංස්කෘතිය යනු අසීමිත පන්තියකට පමණක් නොවේ. එය බහුතර ජනතාවක් රසවිඳින ජීවිතයට හා පැවැත්මට බලපාන ගෝචර වන ඕනෑම දෙයක් විය හැකිය. උදාහරණ ලෙස ක්‍රිකට්,  නව විලාසිතා, නව සංගීත රටා තාක්‍ෂණික ප්‍රමිතින්, පුද්ගල චර්යාවන් වැනි දෑ සඳහන් කළ හැකිය.

මෙම තත්වය කලාව කේන්ද්‍ර කොට ගත්තක් පමණක් නොවේ. එය සමාජ මානව විද්‍යාත්මක ප්‍රවණතාවක් ලෙස ද හදුනා ගත හැකිය. ජනප්‍රිය සංස්කෘතිය පොදු ජනතාවගේ කලාවක් බවට පත් වූයේ  සාමාන්‍ය කලාකරුවන්ගේ දක්ෂතාවන් ඇගයීම්ට ලක් කිරීම හේතුවෙනි. කලාකරුවන් ලෙසත්  සම්භාව්‍ය කලාකරුවන් ලෙසත්  තමන්ගේ නිර්මාණ උසස් මට්ටමේ ලා සැලකීමට  මෙරට විදග්ධ පිරිස් පෙළඹුණහ. මෙම තත්ත්වය ප්‍රබුද්ධ නොවූ කලාකරුවන් සහ තරුණයන් දුෂ්කර තැබීමට හේතු බව විචාරක මතයයි. විදග්ධ කලාව තුළින් සාමාන්‍ය කලාකරුවා පසෙකට තල්ලු වීම නිසා ඔවුන්ටන්ට ආවේනික කලාවන්  හා සංස්කෘතින් බිහිවිය. එමේන්ම ම පොදු ජනතාව අතරින් මතු වූ   කලාකරුවන්ට ජනමාධ්‍ය තුළ ඉඩකඩ සීමා විය. මේබඳු ප්‍රවණතාවක් නිසා ජනප්‍රිය සංස්කෘතිය යන්න කලාව ඇසුරු කරගනිමින් නිර්මාණය වූ සමාජ රිද්මය  බවට තරුණ සමාජය අතර ප්‍රකට වීය. ජනප්‍රිය සංස්කෘතියේ නැගීම පොදු ජන විඥානයට සමීප වූයේ ඉන්පසුවයි. නූතන දේශීය සමාජ සංස්කෘතිය තුළ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පමණක් නොව පොදු සමාජ හැසිරීම හා ජීවන පැවැත්ම කෙරෙහි ද බලපා තිබේ. ජනප්‍රිය සංස්කෘතිය බිහි වීමක් නොව එය නැවත මතු වීමක් ලෙස මෙම නැගීම සඳහන් කළ හැකිය. නව සංකල්පයක් ලෙස සාකච්ඡාවෙන ජනප්‍රිය සංස්කෘතිය සමාජයේ ආරම්භක අවධීන් සිට විකාශනය වන්නකි. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය ක්ෂණිකව බිහි වූ සංස්කෘතියක් නොවන බවත් එය සමාජයේ ක්‍රමික ව විකාශනය මගින් බිහි වූ  තත්ත්වයක් බව අවබෝධ කරගත හැකිය.

ආකාස කුසුම්


ආකාස කුසුම් (සිංහල චිත්‍රපටය)
     ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද ආකාස කුසුම් වූකලි  මානව සබදතාවන් වියෝ වූ සමාජයක ශෝකී රිද්මයද සංස්කෘතික වංකගිරියක අතරමන් වූ පරපුරක ඛේදවාචකයද  ගැබුරින් විදහා දක්වන සිනමා නිර්මාණයකි.සන්ධ්‍යාරාණි නම් වූ නිළි රැජිනිය හා ඇගේ යොවුන් දියණියගේ ද්වන්ද ගැටුම ඔස්සේ ගාලා යන චිත්‍රපටයට යටින් කැරෝකේ නටන සමාජයත්,යුධ පීඩනයේ විනාශයත් ඒ සියල්ල මතුපිට සිදුවන උත්ප්‍රාසයෙන් යුතු නාටකයත් අපට දැක ගත හැකිය. ප්‍රසන්න ආසියානු සිනමාවේ සියත් සලකුණු පිරිසිද දැන් සිනමාලංකාරය හා සිනමා වියරණය මැනවින් භාවිත කරන සිනමාකරුවකු බවද එමගින් තහවුරු කරයි.                                                                                                                                         
සන්ධ්‍යාරාණිගේ ජීවිතය දරිද්‍රතාවයෙහි පමණක් නොව අපේක්ෂා භංගත්වයෙහි ද කාන්තාරයකි.සිය විචිත්‍ර සිනමා තාරකා යුගය සිහිනෙන් ගැ සුවදක් මෙන් ගිලිහි ගිය ඕ සිය දියණියගෙන් වියෝ වී හදවතින් හඩා වැලපෙන අභාග්‍ය සම්පන්න ගැහැණියකි.සිය සමාජ හා ගෘහ වගකීම් නමැති රැහැනින් බැදුණු ඇය තමන්ගේම සිරකාරියෙකි.ජනප්‍රියත්වයෙන් ගිලිහි ගිය තරුවක් ලෙස ඇය ගෙවන ජීවිතය දුක්බරය.ඇය පැටිස් විකුනමින්ද සිය නිවසෙහි කාමරයක් කුලියට ලබා දෙමින්ද මුදලක් සපයා ගන්න

සන්ධ්‍යාරාණිගේ ආත්මීය හුදකලා බව දුරලන දුලබ පහන් සිල ශාලිකාය.එහෙත් ඇයද විතැන් වූ ලියකි.ඇගේ යෞවනය හප කළ සල්ළාලයෙක්  ඇයට සංස්කෘතික බණ දෙසනු අපි උත්ප්‍රාසයෙන් බලා හිදිමු. සන්ධ්‍යාරාණිගේ දියණිය ප්‍රියා සිය මවගෙන් පලිගැනිමට තරම් ප්‍රචණ්ඩ ලියක් වී අවසානයේ ඒඩ්ස් රෝගිනියක් වී බවට පත් වේ.ප්‍රසන්න සන්ධ්‍යාරාණිගේ පරපුර හා ශාලිකාගේ හා ප්‍රියාගේ පරපුර ඉතා සියුම්වද,සිනමාරූපිවද අනාවරණය කරයි.සන්ධ්‍යාරාණි සිනමා තාරකාවක් වීම සදහා සිය දියණිය හා කුටුම්බයද  බිද ගනී.ළමා විය සමග ඉතිරි වූ අම්මාගේ සිහිනය ප්‍රියාට කාලයාගේ ඇවෑමෙන් වෛරයක් බවට පෙරලෙයි.ඇය ඒයින්ම සිය විනාශයට ද දොරගුළු හැර ගන්නීය.

ආකාස කුසුම් චිත්‍රපට නාමාවලිය සමගම ඡයාමත්‍රව දිස්වන්නේ සම්බෝගය නිරුපණය කෙරෙන නොපැහැදිලි රූපාවලියකි.අනතුරුව වැසි බිදු තැවරුණු මෝටර් රියකි.ඒ සමග වැසි වැටෙයි.ඒ අතරින් සන්ධ්‍යාරාණිගේ සමීප රූපය දිස්වේ.ඇය පිටරට ජිවත්වන සොහොයුරියකගෙන් ලද ලිපියක් කියවමින් සිටින්නීය.සන්ධ්‍යාරාණිගේ මෙහෙකාරිය ලීලා පැටිස් සාදමින් සිටින අතර ඇගේ නිවසින් පිටතට එන තරුණ යුවළක් ප්‍රේක්ෂකයාට හමු වේ.ඉක්බිති එය ජේදනය වන්නේ විසිතුරු විදුලි බුබුළු වලින් සමන්විත ජනාකීර්ණ අගනුවර විදියකටය.

සන්ධ්‍යාරාණි සොයා එන ඇගේ අනෙක් නැගණිය ජිවන බරින් මිරිකී ගියගැහැණියකි.දීග දෙන වයසේ දියණියන් සිටින ඇය එන්නේද අක්කාගේ රීරිමාංශය හුරා කෑමටය.ඇය ඍජුවම පවසන්නී අක්කාගේ නිවස වල් ගැහැණුන්ගේ ගුබ්බැයමක් බවය.එහෙත් එසේ උපයන මුදල් ඇය බාර ගන්නීය.වරක් ඇය සමගද උදහස් වන සන්ධ්‍යාරාණි සිය මේසය මත  තිබෙන කෑම බීම හා බඩුමුට්ටුද  පෙරළා දමන්නිය.එහිදී ඇය අස්වසා ලන්නිද ශාලිකාය.ශාලිකාද කුල ගෙය බිද ගත් නන්නත්තාර වූ නිළියකි.සිනමාකරුවා මුලිකවම මෙම ස්ත්‍රී චරිත නාට්‍යමය ආකාරයෙන් චිත්‍රපටය පුරාම ඉතා සූර ලෙස හසුරුවයි.සන්ධ්‍යාරාණි මදුවිතට හුරු වී සිටියි.ඇගේ මිතුරිය පූසා නිතරම ඇගේ දැවටෙයි.මේ සියලු සලකුණු ඔස්සේ ප්‍රසන්න සන්ධ්‍යාරාණි මෙන්ම ශාලිකද හදුනා ගැනීමේ යතුරු අපට ලබාදෙයි.ශාලිකා හා සන්ධ්‍යාරාණි එක්ව සන්ධ්‍යාරාණිගේ ජිවිත කවුළුව හැර දෙති.ජනප්‍රිය නළුවන් සමග පෙම් ජවනිකා මැවූ ඒ අතීතය ඇයට ප්‍රසන්නය.පැහැපත්ය.වරක් ශාලිකා හා පැරණි පෙම් ගීයක්ද ගයති.එය සිනමරූපී ලෙස සන්ධ්‍යාරාණි හදුන්වා දීමකි.

සන්ධ්‍යාරාණි නමැති සිය මව ප්‍රථම වරට දියණිය වන ප්‍රියා දැක ගන්නේ රූපවාහිනි වැඩසටහනකදීය.සන්ධ්‍යාරාණිගේ යුගයත් ශාලිකා වැනි ඊළග පරපුරේ යුගයත් අතර වෙනස සිනමාකරුවා අනාවරණය කරන්නේ එබදු රූපමය නිරූපනයන්ගෙනි.නව පරපුරේ ව්‍යාජ සංස්කෘතික ගොහොරුව මත උඩින් උඩින් දෙපා තබා යන චරිත සිනමාකරුවා අපට පෙන්වා දෙයි.සන්ධ්‍යාරාණි හා ප්‍රියා නමැති මව හා දියණියකගේ ඛේදවාචකය ඉතා ප්‍රබලව ප්‍රසන්න මතු කරයි.මේ බරපතල දුබලතා මෙන්ම ප්‍රබලතා ඔහු සියුම් රේඛාවකින් අපට විදහා දක්වයි.මානව සබදතා බිදී යෑමත් සංස්කෘතික හා සමාජ පුවරු මත වැටී සිදී යන ජිවිතවල අදුරක් ප්‍රසන්න ප්‍රබලව ද ගැබුරින් ද අපගේ අවධානයට යොමු කරවයි.

ප්‍රියා විසින්ම කරනු ලබන අනාවරණයකට අනුව ඇයත් පියාත් පිටරටක ජිවත් වෙති.බිරීද නැති සොවින් ඔහු බිමත්ව  මිය යයි.මවගේ විවිධ රූප සටහන් පුවත්පත් වලින් කපා අලවන ප්‍රියා එක් දිනක් ඒවා රැගෙන මව වන සන්ධ්‍යාරාණිගේ නිවසට භාර දී යන දසුනප්‍රේක්ෂකයා දකී.අනතුරුව ඇය දුරකථනය මගින් මවට දොස් නගන්නීය.සන්ධ්‍යාරාණිගේ  හුදකලා නිවසත් සමග ප්‍රියා සැරිසරන කැරෝකේ සමාජ ශාලා රූප පෙළ ප්‍රසන්න මැනවින් ජේදනය කරමින් මේ චරිත දෙක රැගෙන යන අයුරුද අගනේය.ප්‍රියා බමන මතින් නටන ලියන් හා තරුණයන් සමග සිටින මොහොතක සන්ධ්‍යාරාණි ඇය සොයා යන්නීය.සිය මව දුටු ඕ ක්ෂණිකව උද්වේගයෙන් මත්ව තමා අසල සිටි අයෙක් සිපගන්නා අයුරු ඇය දකින්නීය.

මවක් හා දියණියක් අතර ස්නේහය බිදී ගිය ජිවිත ඔවුන්ටම ශාපයක් වන අයුරු ආකාස කුසුම් තුළ මනාව රූපයට නංවා තිබේ.ප්‍රියා ගබ්සාවකට යෑමත් අනතුරුව ඒඩ්ස් රෝගිනියක ලෙස මිය යෑමත් චිත්‍රපටය තුළ නිරුපණය වේ.ඒඩ්ස් රෝගිනිය පිළිබද රෝහල දක්වන ප්‍රතිචාර ඉතා දුර්වලය.ඇගේ පාදඩ ජිවිතයේ අවසානය එබදු විනාශයක් බව සංකේතාත්මකව කීමට වඩා රූපමයමාධ්‍යයෙන් කීම නිවැරදිය.එහෙත් ඒ රූප රාමු පෙළ ප්‍රබල නැත.ඒඩ්ස් රෝගිනිය හා රෝහලද,සමාජයද සාමාන්‍යද?

සන්ධ්‍යාරාණි ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැග සිටින විට ඇය හගවන්නි තමා අවිවාහක බවත් තමාට දියණියක් නැති බවත්ය.එහෙත් අනතුරුව ඇය ප්‍රියා සොයා යන්නී ඒ වරදට වන්දි ගෙවීමට මෙන්ය.මෙම ලුහුබැදීම ඔවුන්ගේ සදාකාලික වෙන් කිරීම ඉක්මන් කරන අයුරු අපි දකිමු.තාරුණ්‍ය හා ජිවිත සෑදෑව වෙන වෙනම දකිද්දී සන්ධ්‍යාරාණිගේ එම වෙනස් වීම පිළිගත හැක.ප්‍රියා මවට දක්වන වෛරයද තර්කනුකුලය.ඕ මව කැමති සියල්ලටම අකමැතිය.මවගේ පිළිගැනීම සදහා හිතුවක්කාර හා නාස්තිකාර පාදඩ ජිවිතයකටද ඇය මාරු වන්නිය.සත්තකින්ම මේ දෙදෙනාම ජිවත වන්කගිරියක අතරමං වුවෝය.සමාජ සංස්කෘතික බලවේග නමැති සැඩ පහරට හසුව ගාලා යන ඔවුන්ගේ ජිවිත අපගේ ඇසට කදුළක් නංවයි.ප්‍රසන්න ජීවිතය හා සමාජ සත්තාව හදුනාගත් විදග්ධ සිනමාකරුවෙකි.ඔහු මේ චරිත හසුරුවන්නේ එයට උචිත සංස්කෘතික පසුබිමකය.ව්‍යාජ බොල් සංස්කෘතික හර පද්ධතියක ගොදුරු බවට පත් වන යෞවනය මෙන්ම මුල් සිද ගත් පරම්පරාවක අතරමං වීමද ප්‍රසන්න ප්‍රබලව හගවයි.

මෙගා ටෙලිනාට්‍ය හා කැරෝකේ නටන සමාජ ශාලා වල රැගුම්ද ගැයුම්ද  ඝෝෂාවක් ලෙස නැගෙයි.යුද්ධය රූපවාහිනියෙන් අසන ප්‍රවෘත්තියක් පමණි.ලොතරැයි දිනුම් ඇදීම්ද  අනෙක් සියලු ක්‍රියාකාරකම්ද ඔහේ සිදුවෙයි.අකම්පිත සමාජයක අපි වල්මත්ව සිටින්නෙමු.මාතෘ ප්‍රේමය ඒ සමාජයේ සාමාන්‍ය දේවල්ය.සියලු මානව ගුණදම් විකිණී යන දේවල්ය.විදුලි පහන් දිදුලන විදී,ගොඩනැගිලි වලින් ගහන වට පිටාව මේ සියල්ල අපගේ සන්සුන් ජිවිත රිද්මය බිද දමා තිබේ.කුසුමක් තිබේ නම් ඒ අහසේ පමණි.එහෙත් ආකාස කුසුම් යනු අපට ස්පර්ශ කල නොහැකි මිරිගුවකි.

මව සහ දියණිය අතර ඇති වන සබදතාව හා එහි ආන්දෝලනාත්මක අවසානය අධ්‍යක්ෂක වරයා අතින් එක්තරා ප්‍රමාණයකට ලඝු වී තිබේ.ප්‍රියාගේ මරණයෙන් මව තුළ ඇති විය යුතු කම්පනය එහි නැත.ඇය සිය මිනිබිරිය දෝතින් රැගෙන එතරම් සහනයකින් ළය සැහැල්ලු කර ගන්නේ කෙසේද? සමාජ හා සංස්කෘතික බලවේග විසින් නන්නත්තාර කරන ලද ජිවිත හා හැසිරීම් ප්‍රේක්ෂක හැඩ ප්‍රබලව කම්පා කරවන අයුරු චිත්‍රපටය පුරාම දැනේ.එහෙත් ‘මං දැන් නිදහස්’ යනුවෙන් කුළුගන්වා ඇති අවස්ථාව ලිහිල්ය.එය මව් සෙනෙහස උතුරා ගිය ගැහැනියක හා යා නොදේ.

ආසියානු ජන සමාජයට ඔරොත්තු නොදෙන තරමට  ගෝලීය ධනවාදයේ පීඩනය ලැබී තිබෙන බවද ආකාස කුසුම් තුලින් විශද වෙයි.සිය සංස්කෘතික අනන්‍යතාව විනාශ කරගත් ඒ සමාජය තුළ ගැහැණිය වඩාත් ඛේදවාචකයක් බවට පත්ව සිටින්නීය.නාට්‍යමය උත්ප්‍රාසයකින් මේ සමාජ කුණුපය සිනමාකරුවා අනාවරණය කරයි.හැගීම්, වැළපීම්, සුසම්, වේදනා,පලිගැනීම් වලින් ජීවිතය පිරි තිබේ.ප්‍රියාට අත්වන ගොරතර මරණය ඒ සමාජයේ අවසානය සංකේතවත් කරන අතර සන්ධ්‍යාරාණිගේ පරපුරේ වල්මත් ස්වරුපය ද අපි දකිමු.ජීවිතය කෙතරම් සංකීර්ණද?

ආකාස කුසුම් චිත්‍රපටය සමග ප්‍රසන්න විතානගේ ආසියානු කලාපයේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස තහවුරු වෙයි.චිත්‍රපටයෙහි රූප රචනය ඉතා විශිෂ්ටය.දෙබස් ඉතා සකසුරුවම් ලෙස භාවිතා කළ අයුරුද අපුරූය.චිත්‍රපටයේ සංගීතයද චරිත හා අවස්ථාද නිර්මාණයට ආලෝකයක් වූ බවද කිව යුතුය.ලක්ෂ්මන් ජෝශප්ගේ තේමා සංගීතය හා මුසු වන ආරම්භක රූපාළිය සිනමාරූපි බැවින් ඉහළ වියමනක් මවයි.ගීතයද භාවමය ගුණයෙන් යුතුය.චිත්‍රපටයේ රිද්මයටද හානි නොවන ලෙස සිය ආඛ්‍යානය  ගොඩ නගා ගැනීම ප්‍රතිභා පුර්ණ සිනමා කරුවකුගේ ගුණයකි.ආකාස කුසුම් චිත්‍රපටය තුළ සමාජ යථාර්තය උඩු යටි කුරු වන අවස්ථා සහා ව්‍යාකුල වී යන අවස්ථා පවත්නා නමුත් අද්‍යතන සමාජ යථාර්තයන් ප්‍රතිනිර්මාණය කරන ලද වැදගත් සිනමා චිත්‍රයක් ලෙස ආකාස කුසුම් අගය කළ මානාය.